|
1946-1948 |
පී. තේනබදු මයා |
|
මෙතුමා විජයබා මධ්‍ය මහා විද්‍යාලයට නිල වශයෙන් පත්කරන ලද ප්‍රථම විදුහල්පති වේ.විද්‍යාලයේ අනන්‍යතාව උදෙසා මුල් වරට පාසල් ගීතයක් ප්‍රබන්ධය කරන ලද්දේ මෙතුමා විසිනි. අධ්‍යාපන හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය කෙරෙහි මෙතුමාගේ දූරදර්ශී ක්‍රියා කලාපය හේතු වී ඇති අතර ප්‍රථම විද්‍යාලයීය සඟරාව “විජයබාහු” නමින් එළිදැක්වීම ඊට සාක්ෂි සපයයි. |
|
1948 - 1962 |
එෆ්.ඩී. සේරසිංහ මයා |
|
විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරයෙන් දෙවනුව පිදුම් ලැබුවේ මෙතුමාය. පාසල් ඉතිහාසයේ සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍ය ලෙස්ලි ගුණවර්ධන හෙවත් පසු කලෙක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයෙන් පිදුම් ලැබූ විද්වතාණන් රටට දායාද වූයේ සේරසිංහ මැතිඳුන්ගේ සමයේ වීම සුවිශේෂීම සිද්ධියකි. අතීත,වර්තමාන සහ අනාගත ශිෂ්‍ය ප්‍රජාවගේ භුක්තියට හිමිකම් කියන විද්‍යාලීය ප්‍රධාන ගොඩනැගිල්ල සහ ඒ හා බැඳි බුද්ධ මන්දිරය, උසස් පෙළ විද්‍යාගාර පද්ධතිය, පුස්තකාලය සහ අදටත් පාසලේ අනන්‍යතාව විදහා දක්වන ඉදිරිපස රක්ත වර්ණ පඩිපෙළ මෙතුමා කළ සේවයේ මහාර්ඝ මතක සටහන් වේ.1950 ඔක්තෝබර් මස පළමු වෙනි දින පාසල තුළ බාල දක්ෂ ව්‍යාපාරය ඇරඹීම මෙන්ම පනහ දශකයේ ශිෂ්‍යභට කාණ්ඩය ස්ථාපනය කිරීම ද සේරසිංහ මැතිඳුන්ගේ දූරදර්ශී නායකත්වයට කදිම සාක්ෂි වේ.1954 වසරේ ආදි ශිෂ්‍ය සංගමය පිහිටු වීම මෙන්ම එහි ප්‍රථම සභාපති ධූරයෙන් පිදුම් ලැබුවේ ද විද්‍යාලාධිපති වූ සේරසිංහ මැතිඳුන්මය. |
|
1979 - 1983 |
ඒ.ආර්.ඩබ්. සේනානායක මැතිතුමා |
|
ජාත්‍යන්තර ළමා වර්ෂය නිමිති කොට ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහයෙන් ලංකාවේ ප්‍රථම " පාසල් කෞතුකාගාරය" විවෘත කරන ලද්දේ එවකට මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිඳුන්ගේ සහභාගීත්වයෙන් මෙම විදුහල්පති තුමාගේ ධුර කාලයේදීය. අධ්‍යාපනය, ක්‍රීඩා අංශයේ සංවර්ධනය මෙන්ම පාසල් දුවා දරුවන්ගේ විනය පිළිබඳව ද මෙතුමා විශේෂ අවධානයකින් කටයුතු කර ඇත. |
|
1988 - 1998 |
කේ.ඒ.ජී. ජයතිලක මැතිතුමා |
|
ජයතිලක මැතිඳුන්ගේ ධූර කාලය පාසල් ඉතිහාසය තුළ අමරණීයව සනිටුහන් වන කරුණු ද්විත්වයකි.1991 ජූලි මස පළමු වැනි දින සබරගමුව පළාතේ ක්‍රීඩා පාසල බවට නම් කිරීම සහ 1994 වසරේ ජුනි මස 23 වනදා දිවයිනේ ජාතික පාසල් අතරට තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය එක් වීමත්ය. 1993 නොවැම්බර් 29 වන දින විද්‍යාලයීය ප්‍රථම තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සිදු වූ අතර විද්‍යාලයට වසර 50 සපිරෙන 1995 ජුනි 23 දින මෙය සිසු අයිතියට පැවරීම මෙතුමාගේ කාලය තුළම සිදුවීම වැදගත්ය. මෙ සමයේ සිදු වූ තවත් සුවිශේෂි වූ ජයග්‍රහණයක් වන්නේ දිවයිනේ හොඳම ගෙවත්ත මෙම විදුබිමෙන් බිහි විය. ක්‍රීඩාවට නව අංග එක් කරමින් 13 න් පහළ හා 15 න් පහළ ලෙදර් බෝල ක්‍රිකට් කණ්ඩායම බිහි කිරීම හා විද්‍යාලයීය ප්‍රධාන ගොඩනැගිල්ල සහ කලා අංශ ගොඩනැගිල්ල එක් කරමින් පියගැට පෙළක් නිර්මාණය වී ඇත්තේ ද ජයතිලක විදුහල්පති තුමන්ගේ සමයේය. |
|
2000 - 2002 |
ඩබ්.ඩී.පී.කේ. සමරසිංහ මැතිණිය |
|
පසුකාලීනව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටි මෙතුමිය ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයට විශේෂ මතක සටහන් කිහිපයක්ම ශේෂ කිරීමට භාග්‍යවන්ත වී ඇත. විද්‍යාල භූමිය පුළුල් කරමින් 2002 පෙරවාරි 19 වන දින හෙක්ටයාර් 1.0221 ක් වූ භූමි ප්‍රමාණයක් පාසල් භූක්තියට හිමි කර දීම එක් සිදුවීමකි. මෙතෙක් පාසල තුළ පැවති අඩුපාඩුවක් සපුරාලමින් ආදි ශිෂ්‍ය, දෙමාපිය සහ සිසු දරු දැරියන්ගේ දායකත්වයෙන් ආසන 26 ක බස් රථයක් පාසල් භුක්තියට දායාද කිරීමටත් මෙතුමියට හැකි විය. ප්‍රාථමික අංශයේ සීමා මායිම් නිශ්චය කොට පැති බැම්ම ඉදි කිරීම, පැරණි බාලිකා නේවාසිකාගාරය ප්‍රතිසංස්කරණය සහ භෞතික වශයෙන් විසිරී පැවති පන්ති කාමර ක්‍රමවත් පිළිවෙළකට ස්ථාපනය කිරීම මෙතුමියගේ අනුදැනුම මත සිදු කළ තවත් වැදගත් වූ සේවාවන් කිහිපයකි. |
|
2003 - 2014 |
ජී. ගමආරච්චි මැතිණිය |
|
මෙයට වසර නවයකට පෙර ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධූරයෙන් ඉසිඹු ලද මෙතුමිය සිය සේවා කාලය තුළ වර්තමානය තෙක් පවතින ක්‍රියාකාරකම් රැසක් පාසල් ප්‍රජාවට දායාද කිරීමට තරම් වාසනාවන්තව ඇත. 2011 සැප්තැම්බර් 08 වන දින පාසල් දරුවන්ගේ විභ්‍යවතා එළි දැක්වීම උදෙසා බිහි කළ “ශිෂ්‍ය පාර්ලිමේන්තුව " සහ 2011 නොවැම්බර් 14 දින සිට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලිය හෙවත් " මැදි මහ සටන " ඇරඹීමට පුරෝගාමී මෙහෙවරක් කොට ඇත. ඉතිරි කිරීම අනාගත සිසු දිවියට අත් වැළක් බවත් පසක් කර ගත් මෙතුමිය 2003 වසරේදී එවකට අධ්‍යාපන ඇමති ධූරය දැරි සුරනිමල රාජපක්ෂ මැතිඳුන්ගේ සුරතින් මහජන බැංකු ගිණුම් ඒකකයක් පාසල තුළ ස්ථාපනය කිරීමට සමත් විය. 2010 මාර්තු මාසය වන විට මීටර් 400 ධාවන පථයක් සඳහා මිලියන 250 ක ව්‍යාපෘතියක් ලබා ගැනීම, පාසල් දරුවන් වෙනුවෙන් කිරි හලක් විවෘත කිරීම, නවීකරණය කරන ලද බාලක නේවාසිකාගාරය විවෘත කිරීම හා මහල් තුනකින් යුත් නව බාලිකා නේවාසිකාගාරය පාසල් ප්‍රජාවට දායාද කිරීමට තරම් ධෛර්යමත් වූවාය. ප්‍රාථමික අංශයේ දුවා දරුවන්ගේ නිර්මාණශීලිත්වය හඳුනා ගත් මෙතුමිය පිපෙන කැකුළු සාහිත්‍ය උළෙල එළි දැක් වූ අතර අධ්‍යාපන ක්‍ෂේත්‍රය මල්ඵල ගන්වමින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ තෙවන ස්ථානය හිමි කර ගත් " මනිඳු ලක්විදු ධර්මවීර " දරුවා දැයට තිළිණ කරන ලදී. |
|
2014 - 2018 |
එන්.ඒ.ඩී.ආර්. හේමන්ත මැතිතුමා |
|
මෙයට වසර පහකට පෙර ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ධූරයේ කටයුතු කරමින් විද්‍යාලයේ අධ්‍යාපනය මෙන්ම භෞතික සම්පත් සංවර්ධනයට විශාල මෙහෙවරක් ඉටු කර ඇත. අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ මට්ටමකට ළඟා කරදීම, වර්තමාන ක්‍රීඩාපිටිය සංවර්ධන කටයුතු, ක්‍රීඩාගාරය ඉදි කිරීම, විද්‍යාලයට තෙමහල් ගොඩනැගිල්ලක් ලබාගැනීම, වොලිබෝල් ක්‍රීඩාපිටිය ලබා ගැනීම. ක්‍රිකට් පැති විකට්ටුව ඉදි කිරීම ආදී සංවර්ධන කටයුතු සඳහා පාසලට විශාල මෙහෙයත් ඉටු කරන ලදී. මෙතුමා මින් පසු කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට පත්වෙන ලද අතර දැනට කෑගලු විද්‍යාලයේ විදුහල්පති ධූරය හොබවයි. |






